සංඝරත්නය වෙත වටිනා ධර්ම ග්‍රන්ථ පූජාවක් කිරීම - ධර්ම දාන
About this Pinkam
💎 කොට්ටුකච්චිය ප්‍රදේශයේ සෙනසුනක වැඩ වාසය කරන මහා සංඝරත්නය වෙත වටිනා ධර්ම ග්‍රන්ථ පූජාවක් කලෙමි. 🕮රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් රචිත සම්පූර්ණ පොත් 27ක ප්‍රමාණය මෙසේ ධර්ම දානයක් ලෙස පූජා කලෙමි. ධර්ම විකෘතීන් බහුල යුගයක රේරුකානේ නාහිමියන් විසින් ථෙරවාද ත්‍රිපිටක අර්ථකථා නොයික්මවා සිංහල භාෂාවෙන් තේරුම් ගැනීමට වඩා පහසු ලෙස රචනා කරන ලද මෙම ධර්ම ග්‍රන්ථ📓 මහා සංඝරත්නයේ ධර්මඥාණය වර්ධනය පිණිසත්, තව තවත් ථෙරවාද ධර්මය මනා ලෙස ප්‍රචාරය කිරීම පිණිසත්, උන්වහන්සේලාගේ ප්‍රාර්ථනික බෝධියකින් මගඵල අවබෝධය පිණිසත්, සම්බුදු සසුන තවත් බොහෝ කාලයක් පැවැත්ම උදෙසාත් මෙම ධර්ම ග්‍රන්ථ පූජාවන් හේතු වේවා.🙏
☸️ධර්ම දානයේ ආනිශංස☸️
🔸ධර්ම දානය අවුරුදු දහස් ගණනින් සීමා වූ බුද්ධෝත්පාදයෙහිම කළ හැකි වන්නේය. කල්ප ගණනින් අති දීර්ඝ වූ අබුද්ධොත්පාදයෙහි කළ නොහැකි වන්නේය. සංසාරයෙහි සැරිසරන සත්වයා සුගතියට නොපැමිණ අවුරුදු කල්ප කෝටි ගණන් හෝ ආත්මභාව සිය දහස් ගණන් හෝ සතර අපාය ස්වකීය ගෘහය කොට ගෙන වාසය කරයි. එහෙයින් එකල්හි දූ ධර්ම දානයක් නම් කළ නොහැකිවේමය. මිසදිටුව උපන් කල්හිදු, පිට සක්වල උපන් කල්හිදු, ගොළු - බිහිරි - මෝඩ – උම්මත්තකව උපන් කල්හිදු, ශ්‍රද්ධා, සති, වීරිය, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්මයන් දුර්වලව උපන් කල්හි දු අල්ප මාත්‍ර වූ ද ධර්ම දානයක් නම් නොකෙරේමය. කය නැතිව සිත පමණක් ඇති දීර්ඝායුෂ්ක අරූපී බ්‍රහ්ම ලෝක සතරෙහි ද සිත නැතිව කය පමණක් ඇති අසඤ්ඤසත්ත බ්‍රහ්ම ලෝකයෙහි උපන් කල්හි වුවද ධර්ම දානය නොකළ හැකිය.
🔸ධර්ම දානයෙහි අධර්මයෙන් උපදවාගත් දෙයක් නොවන හෙයින් දාන වස්තුව ගැන සැකයක් නොවන්නේය. ලොව්තුරා බුදුවරයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළ ධර්මයක් හෙයින් ධර්මය අති පාරිශුද්ධ වන්නේය. ධර්ම දානය දුශ්ශීලයන්ට දුන්නේ ද විපාකය මහත්ඵල වන්නේය.
🔸දාන වස්තුවෙහි ලෝභ ඉපදීමෙන් වන පුණ්‍ය හානියකුදු නැත්තේය. ධර්ම දානය දීමෙන් දිළිඳු නොවන හෙයින් පසුතැවිලි වීමකුදු නැත්තේය. දිවි හිමි කොට ධර්ම දානය කළේ ද අඩු වීමකුදු නැත්තේය. ධර්ම දානය සියල්ලවුන්ට සාධාරණ දානයක් නොවේ. ලොව්තුරා බුදු කෙනකුන් වහන්සේ විසින්ම ප්‍රථමයෙන් දුන් හෙයින් අසාධාරණ දානයකි. දුන් අයට මෙන්ම ලැබූ අයටද පින් පිරෙන දානයකි.
🔸ධර්ම දානය නිවන් උදෙසා කෙරෙන දේශනාවක් හෙයින් නොපැතුවද නිවන් ලබාදෙන දානයකි. ඥාන විප්‍රයුක්තව බණකීම් විරළ හෙයින් බොහෝ විට ත්‍රිහේතුක කුසල්ම උපදින්නේය. ධර්ම දානය ඇසිල්ලකින් කර නිම වන කුසල කර්මයක් නොවේ. ධර්ම දේශනාව පටන් ගත් මොහොතේ සිට අවසාන වනතෙක් අප්‍රමාණ කුශල චිත්ත විථින්ගෙන් ද සද්ධා සති කරුණා මුදිතාදි කුසල චෛතසිකයන්ගෙන් ද සිදු කරන අති බලවත් කුශල කර්මයකි.
🔸ධර්ම ශ්‍රවණය කිරීමෙන් ශ්‍රද්ධා ප්‍රඥා දියුණු කර ගත බොහෝ සත්වයෝ මසුරු මල හැරපියා තමන් සතු සියලු ධනය පරිත්‍යාග කරති. සමහරු ධනයද, ඇස්, ඉස්, මස්, ලේ, අත්පා ආදී අංග ප්‍රත්‍යංගද කරති. තෘෂ්ණාව හැරපියා එතෙක් දෑ දීමෙහි පොළඹවන ධර්මය දීම සියලු දීම් වලට වඩා උසස් වේමය.
🔸ධර්ම දානය නිසා මරණය වැලකී රැකුණු ජීවිත මෙතෙකැයි පමණ නැත. සතර අපා දුකින් මිදී සුගතියෙහි ඉපදුණු සත්වයන් මෙතෙකැයි පමණ නැත. එහෙයින් ධර්ම දානය සියලු දානයන්ට ප්‍රමුඛ වෙයි.
Location
කොට්ටුකච්චිය
🙏 Wish / Prayer
☸️මේ පුණ්‍යානුබලයෙන් මාගේ ඉෂ්ඨ වූ බලාපොරොත්තු සඵල වේවා... නිවන් දක්නා ජාති දක්වා දුගතියක් හමුනොවේවා... නිවන් දක්නා ජාති දක්වා විරහ වේදනා ආදියෙන් අත්මිදේවා... දෙව් මිනිස් සැප කෙලවර මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේදීම උතුම් වූ සෝවාන් මගඵල අවබෝධය පිණිසම වේවා.🙏
📿 Merit Giving / ආනිශංස
🧚පින් කැමති සියලු දෙවියන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා...
මෙය දකින ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා...☸️🙏